Searching...
Wednesday, June 5, 2013

අශ්‍රාෆුල් සමාව අයැදියි

මේ දින වල පිළිකාවක් සේ ඉන්දීය ක්‍රිකට් ක්ෂේත්‍රය පුරා පැතිර යන තරග පාවා දීම පිළිබඳ තිත්ත ඇත්තක් අසල්වාසී බංගලාදේශයෙන් ද වාර්තා වේ.

පසුගියදා පැවති බංගලාදේශ ප්‍රමුඛ ලීග් තරගාවලිය අතරතුරේදී මුදලට තරග පාවාදුන් බවට එරට ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක මොහොමඩ් අශ්‍රාෆුල් පිළිගෙන තිබේ.

පසුගිය මාසයේදී අයි.සී.සී. දූෂණ මර්දන ඒකකය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් සිය වරද පිළිගෙන ඇති අශ්‍රාෆුල්, ඊයේ දිනයේදී (04) සිය නිවස ඉදිරිපිටදී මාධ්‍යෙව්දීන් අමතමින් මේ පිළිබඳව සමාව ඉල්ලා ඇත.

“මා අතින් වරදක් සිදුවුනා. ක්‍රීඩා දිවියේ පළමුවරට අයි.සී.සී. දූෂණ මර්දන ඒකකය මගෙන් ප්‍රශ්ණ කළා. ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් මා මගේ වරද පිළිගෙන ඔවුන්ට හැකිතාක් සහය දෙනවා. මා විසින් මටත් හා රටටත් එරෙහිව සිදුකළ වැරදි වලට සියල්ලන්ගෙන් ම සමාව ඉල්ලා සිටිනවා,” යැයි ඔහු පවසා තිබේ.

පෙබරවාරි 02දා ඩකා ග්ලැඩියේටර්ස් හා චිත්තගොන්ග් කිංග්ස් කණ්ඩායම් දෙක අතර තරගය පරාජය වීමට අශ්‍රාෆුල් හට ටකා මිලියනයක් (ඇමෙරිකානු ඩොලර් 12,800ක්) ලබාදී ඇති නමුත්, එම චෙක්පත අගරු වී ඇති බවත් බංගලාදේශ මාධ්‍ය වාර්තා කර තිබුණි.

මීට අමතරව, තවත් දින 10කට පසුව බරීසල් බර්නර්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගය ද ඔහු විසින් මුදලට පාවාදී ඇතැයි පැවසේ.

අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ පර්යේෂණ අවසන් වන තෙක් අශ්‍රාෆුල් ට ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීම තහනම් කිරීමට බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වන විටත් තීරණය කර අවසන් ය.

බංගලාදේශයේ ජනප්‍රියතම හා අත්දැකීම් බහුලම ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන 28 හැවිරිදි අශ්‍රාෆුල් ටෙස්ට් තරග 61කදී ලකුණු 2737ක් ද එක්දින ජාත්‍යන්තර තරග 177කදී ලකුණු 3468ක් ද ලබාගෙන තිබේ.

0 comments :

Post a Comment